Spread the love

නිමල් රාජපක්ෂ
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික හා මානසික අසාමාන්‍යතාවයට පත් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයින් දෙදෙනෙකු අද (27) නැවත දිවයිනට එවීමට එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් කටයුතු යොදා තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඉන් එක් ශ්‍රමිකයෙකු ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ කාර්යාංශයේ ලියාපදිංචි වී 2024 සැප්තැම්බර් දින ඊශ්‍රායල් රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබේ. ඔහු පසුගිය මාස 2ක කාලය තුළ තම සේවා ස්ථානයට වාර්ථා නොකර ඇති අතර, ජෙරුසලමේ සිට ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් ඔහු ටෙලිඅවිව් නුවරට රැගෙනවිත් තිබේ. පසුව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු දිවයිනට පිටත් කිරීමට කටයුතු යොදා ඇත.

අනෙක් පුද්ගලයා වසර 7ක පමණ කාලයක් එරට සේවය කර ඇති අයෙකු වන අතර, ඔහු දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට තම සේවා ස්ථානයට වාර්තා කරද නැත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි රැකියා සඳහා විදේශ ගතවීම හෝ තමන් සේවය කරන රටේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම මගින් ශාරීරික හා මානසික පීඩා ඇතිවන බවත්, එවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත නොවන ලෙසත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
ඇතැම්විට අදාල රටවල නීතියට අනුව සිර දඩුවම්වලට ලක්වීමට පවා සිදුවන බැවින්, ශ්‍රී ලාංකිකයින් වශයෙන් වඩාත් වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි. එසේම මෙවැනි පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේදී ව්‍යාජ සහතික නිකුත් කරන ආයතන කෙරෙහිද දැඩි අවධානය යොමුකරන බවත්, එවැනි ආයතනවලට හෝ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය සඳහන් කරයි.