මෙම වසර තුළ යළි සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
සහල් සහ අනිකුත් ආහාර බෝග අස්වැන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා තිබු අතර ඊට අදාල වාර්තාවක් ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
2021 රසායනික පොහොර තහනමත් සමග ඇති වූ වී ඇතුළු අනෙකුත් දේශීය ආහාර බෝග නිෂ්පාදනයන්හි කඩාවැටීම නිසා 2022 වසරේ දී ඩොලර් මිලියන 400ක් වැය කර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08කට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනු ලැබීය. අනෙකුත් ආහාර බෝග ද ඒ අන්දමින්ම ආනයනය කිරීමට සිදුවිය.
නමුත් 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2023 වසරේ මේ වන තෙක් සහල් ආනයනය කිරීමට රජයට සිදු නොවීය.
සහල්- 2023 වසර තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක අතිරික්තයක් ඇති විය හැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබේ. මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24කි. පසුගිය මහ කන්නය මෙම යල කන්නයේ අස්වැන්න සමග සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකි වේ. ඒ අනුව මෙම වසර තුළ නැවත මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
මේ නිසා මෙම වසර තුළ අපේ රට සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, උඳු, හා රටකජුවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත් ව ඇති බැවින් නැවත එම ද්‍රව්‍ය මෙම වසර තුළ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර මෙම යල කන්නයේ අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව වගා කෙරෙන අතරමැදි කන්නය තුළ හැකිතාක් අතිරේක බෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් මුං ඇට, කව්පි හා උඳු වගා කිරීමට ගොවීන් උනන්දු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.