Spread the love

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගේ තිර පිටපතකට අනුව මෙරට ඇමරිකා එක්සත් ජනපද තනාපතිනිය වන ජුලී චන්ග්ගේ අධ්‍යක්ෂණයෙන් දියත් වූ ශ්‍රී ලංකාවට ද ලිබියාවට, හයිටියට හෝ ඉරාකයට අත්කර දුන් ඉරණමම අත් කර දීමේ කුමන්ත්‍රණය පිළිගත හැකි සාක්ෂි සහිතව අනාවරණය කිරීමට විමල් වීරවංශ මහතා විසින් රචිත “නවය; සැඟවුණු කතාව” පර්යේෂණාත්මක කෘතිය මැනවින් සමත්ව ඇති බවත් එය මෙරට පමණක් නොව ජාත්‍යන්තර දේශපාලන කරලිය ද උණුසුම් කිරීමට සමත්ව ඇති බවත් ඉහත කී කුමන්ත්‍රණයේ දේශීය භූමිකාවන් ඉටු කළ සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන නඩය ඇතුළු ඇමරිකානු පිල්ලි ඉන් දැඩි ලෙස කැළඹී, පරල වී, නන් දොඩවමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

පරල වී, මඩ ගසමින්, නන් දෙඩවීම පසෙක තබා, කෘතිය පිළිබඳව හරවත් දේශපාලන සංවාදයකට සූදානම් ඕනෑම අයකුට ඒ සඳහා අවස්ථාව විවරව ඇති බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පවසයි.

ඊයේ (30) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.