නිමල් රාජපක්ෂ
මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) ඊයේ (09) දහවල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, 2025 අගෝස්තු මස 09 වැනි දින මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි.
එහිදී, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී මසුන් ඇල්ලීමේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනා (07) තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
