ඉදිරි සති 02 හෝ 03 ඇතුළත සිල්ලර වෙළඳපල තුළ බිත්තරයක් රුපියල් 45 ත් 50 ත් අතර මිලකට මිලදි ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවනු ඇතැයි සමස්ථ ලංකා බිත්තර හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ ඉදිරි සතිය වනවිට වෙළඳපල තුළ අවශ්‍ය පරිදි බිත්තර තොග පවතිනු ඇති බවයි.
ඉකුත් කාලසීමාව තුළ සිල්ලර වෙළඳපල තුළ බිත්තර හිගවීමට බලපෑ හේතු වූයේ හෝටල් සහ ආපනශාලා බිත්තර එක්රැස් කර තබා ගැනීම බව ද සමස්ථ ලංකා බිත්තර හිමියන්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක සඳහන් කළා. එහෙත් මේවනවිට බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. එමෙන්ම බිත්තර කර්මාන්තය සඳහා පැවැති ඇතැම් ගැටළු සඳහා විසඳුම් ලැබී ඇති බවද ඔහු සඳහන් කළා. එබැවින් හෝටල් සහ ආපනශාලා බිත්තර රැස්කර තබා නොගන්නා බැවින් එම බිත්තර සිල්ලර වෙළඳපලට දෛනිකව නිකුත් කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ ඉන්දියාවෙන් ආනයනය කල සියලු බිත්තර තොග අවසන් වී තිබෙනවා. ඒ, ඉල්ලුම ඉහළයෑම හේතුවෙන්. එබැවින් ඊයේ රාත්‍රියේ සිට නව තොග බෙදාහැරීමට අවශ්‍ය පියවර ගත් බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පැවසුවේ.
බස්නාහිර පළාත පමණක් නොව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ද අවශ්‍ය ඉන්දීය ආනයනික බිත්තර තොග සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට ද අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
