පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු උණ රෝගය හා මී උණ රෝගයන්ට අමතරව ඉන්ෆ්ලුවන්සා රෝගයත් පැතිර පැතිර යන බැවින් දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ සඳහන් කරයි.
සීත කාලගුණයත් සමඟ ඉන්ෆ්ලුවන්සා රෝගයේ වර්ධනයක් දැකි හැකි බැවින් එය නියුමෝනියා තත්තවයක් දක්වා වැඩිදියුණු වීමේ අවදානමක් පැවතිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ද විශේෂඥ වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි..
විශේෂයෙන්ම කුඩා දරුවන් සීත කාලවලට ඔරොත්තු දෙන ලෙස ඔවුන්ගේ ජීවන රටාව හැඩ ගැස්වීමට දෙමාපියන් කටයුතු කළ යුතු අතර දරුවන්ට සීත ආහාර නොදීමට, සීතල වතුර ස්නානය කිරීමට නොදීමට , වැස්සේ සෙල්ලම් කිරිම නොදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇද විවේකය ගැනීම ඉතාමත් වැදගත් යැයිද පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට තම අවට පරිසරය පිිසිදුව තබා ගන්නා ලෙසද ඉල්ලීමක් කරනවා.
මේ අතර ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කරන්නේ දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් මදුරු ඝණත්වය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් තම අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි.
ඊයේ (25) දිනය වන විට ඩෙංගු රෝගීන් 40956ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 22ක් සිදුව ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුරය, යාපනය, මඩකලපුව, නුවර, කුරුණෑගල , කෑගල්ල ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි.
