Spread the love

දකුණු පළාතේ අලුතෙන් ඉදි කර ඇති උස තාප්ප සහිත ඉඩම් වහා නිරීක්ෂණය කරන ලෙසත් එබඳු ඉඩම් තාප්පවලින් වටකර ගෙන සිදුකරන ක්‍රියාවන් සොයා බලන ලෙසත් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දකුණේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.

දකුණු පළාතේ සමහරක් අක්කර ගණන් හිස් ඉඩම් තාප්පවලින් වට කර තිබීමත් එම ඉඩම් එලෙස පවත්වාගෙන යන්නේ කුමන හේතුවක් අරබයා ද යන්න සොයා බලන ලෙසත් මෙවැනි ඉඩම් ගැන නොසොයා එම ඉඩම්වලින් මත්ද්‍රව්‍ය මතුවුවහොත් පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයා ඊට වගකිවයුතු බවටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

තංගල්ල සීනිමෝදර තාප්පවලින් වට වූ ඉඩමක තිබී අයිස් සහ හෙරොයින් අසුරන ලද ලොරි දෙකක් හමුවීමත් ඊට පෙර මෙවන් තාප්පවලින් වටවූ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන රසායන ද්‍රව්‍ය හමුවීමත් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දකුණු පළාතේ ඇති මෙවන් ඉඩම් සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අවධානය යොමු කර තිබේ.