Spread the love

වසර 10ක් තුල මේ රටේ අල්ලපු මත්ද්‍රව්‍ය වලට වඩා වැඩි ප්‍රමාණක් ගත වූ මාස 10 තුල වත්මන් රජය විසින් අල්ලා ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය නගරසභා ශාලාවේ පැවති ලංකා වතු සේවා සංගමයේ රැස්වීම අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ.

“දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. රටට නීතියක් ඕනද නැද්ද? ඕන. ඒ නීතිය ඕන පොඩි එකාට විතරද? මහ එවුන්ට ඕන නැද්ද? අවුරුදු 76ක් නීතිය තිබුණා. කාටද දන්නවද? වත්තෙ එකාට, ගමේ එකාට, සාමාන්‍ය මිනිහට තිබ්බා. ලොක්කොන්ට නීතිය තිබ්බේ නෑ. දැන් ලොකු පොඩි බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙනවා. කෙරෙන්ඩ ඕනද නැද්ද? කෙරෙන්ඩ ඕන. කෙරෙනකොට කලබල වෙනවා. කලබල වුනාට අපි කලබලයක් නෑ. අපි ගානට අධිකරණයට කියලා තියනවා, පොලිසියට කියලා තියනවා, අදාළ අල්ලස් දූෂණ එකට කියලා තියනවා. නීතිය හරියට කරන්න කියලා. අපි නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ නෑ. ඒවා කරන ආයතන කරනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා.

දැන් නීතිය ක්‍රියාත්මක වෙනකොට ලොකු ලොකු අයට වගේම මේ රට වනසපු කුඩු ක්‍රමක්‍රමයෙන් අලල්නවද නැද්ද ? පහුගිය අවුරුදු 10 අපි බලයට එන්න ඉස්සල්ලා අල්ලපු කුඩු වලට වඩා මාස 10ක් තුල අපි ඇල්ලුවා. දැන් අපි අල්ලපු කුඩු ‍තොගය හදිසියේවත් අල්ලන්න බැරි උනොත් ඔය කුඩු අපේ රටේ තරුණ තරුණියෝ බොනවද නැද්ද? වත්තේ ඉදන්, ගමේ ඉදන්, නගරේ ඉදන් බොනවද නැද්ද? බොනවා. මේවා අල්ලන්න ඕනද නැද්ද? අල්ලන්න ඕන සුද්ද කරන්න ඕන. එන තිස්වෙනිදා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් දැවැන්ත ජාතික ව්‍යාපාරයක් හදනවා විෂ මත්ද්‍රව්‍ය සහ පාතාලය සුද්ද කරලා දාන ව්‍යාපාරයක් හදනවා. වසර 2-3ක් යනකොට ඔක්කොම සුද්ද කරනවා.

දැන් මේ සමහර කදවුරුවල තියෙන තරමේ අවි ආයුධ හම්බෙනවානේ වැව් පතුලු වලින්. දැන් මතු වෙනකොට ඒ කට්ටිය පෝෂණය කරපු කට්ටිය බය වෙනවා. ඔය පාතාලය, ඔය කුඩු මොන ගර්භාෂයෙන්ද දන්නවද ඉපදුනේ කොළ පාට ගර්භාෂයෙන්, නිල්පාට ගර්භාෂයෙන් දේශපාලන පක්ෂ ඇතුලෙ ඉපදුනේ. ඔය අපරාධ කරන්න පුලුවන්ද පාලකයාගේ හයියක් නැතුව. ඕවා පාලකයොත් එක්ක කරේ. ඔය දැවැන්ත කුඩු තොගය ගේන්න පුලුවන්ද පාලකයන්ගේ උදව්වක් නැතුව? ඒ උදව්ව ඇතුව කෙරුණේ. ඒ අනුව සෑහෙන්න ධනය ඒ කට්ටිය ගාවට ආවා. දැන් අල්ලපු කට්ටිය සමහර කට්ටිය වමාරනවා ඈ. දැන් කියනවා සත්‍ය එලියට එනවා. ඒ වෙනකොට කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නෑ. අපි මේ ගමන යනවා. ආන්න ඒ වගේ ගමනක් යනකොට වත්තෙ ජනතාව මලයගම් ජනතාව තව තව ශක්තිය දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕනේ. ඔබ සොච්චම් විදිහට හම්බ කරගන්නා මුදල දරුවගේ අනාගතය ගොඩ නගන්න දෙන්නේ නැතුව මේ කට්ටිය ගමනක් යනවා නම් වළක්වන්න ඕන. අන්න ඒ කාර්ය මේ කෙරෙමින් තියෙන්නේ. ඒ හින්දා ඒ සියල්ල වෙනස් වෙනවා.

ජනතාවාදී ආණ්ඩුවක්. එයාලා අවුරුදු 76යි. අපි තාම 01යි. එකෙන් ඔක්කොම කරන්න පුලුවන්ද? එකෙන් ඔක්කොම කරන්න බෑ. කරගෙන කරගෙන යනවා.

ඒ හින්දා අපි මෙ විදිහට ගමන යනවා. ඒ විදිහට ගමන යනකොට අපි ඔබේ ප්‍රශ්ණ එක දවසේ විසදන්න පුලුවන් කියලා අපි කියන්නේ නෑ. ක්‍රමාණුකූලව විසදනවා”. යනුවෙන් පැවසීය.

මෙම රැස්විමට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මන්ජුල සුරවීර ආරච්චි, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, බදුල්ල දිස්ත්‍රික් පා.ම. කිට්නන් සෙල්වරාජ් යන මහත්ම මහත්මීන් සහභාගි විය.