Spread the love

ශ්‍රී ලංකානු පිහිනුම් ශූර අකලංක පීරිස් පහුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පැවැත්වූ ඕස්ට්‍රේලියනු ජාතික පිහිනුම් ශූරතාවලියේදී 100m පිරිමි කේවල මිශ්‍ර ආර ඉසව්වෙන් නව ශ්‍රී ලංකානු ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන 25 හැවිරිදි ඔහු, මීටර් 100 පිරිමි කේවල මිශ්‍ර ආර ඉසව්වෙන් තත්පර 55.89 ක තරඟ කාලයක් වාර්තා කරමින් සමස්ත ඕස්ට්‍රේලියාවෙන් ම හය වන ස්ථානයට පත් විය. මෙම දස්කමත් සමඟම ඔහු විසින්ම 2022 වර්ෂයෙදී කොළඹ ඉසිපතන විද්‍යලයේදී පැවැති ජාතික පිහිනුම් ශූරතාවලියේදි පිහිටවනු ලැබූ තත්පර 56.49 ක වාර්තාව මකා දැමීය.
තරඟාවලියේ දෙවන දිනයේදී අකලංක පීරිස් , පිරිමි කේවල මිටර් 50 පසුපස ආර ඉසව්වෙන් තත්පර 24.84 ක තරඟ කාලයක් වාර්තා කරමින් සමස්ත ඕස්ට්‍රේලියාවෙන් ම සිව්වන ස්ථානයට පත් විය. මෙවර ඕස්ට්‍රේලියානු ජාතික පිහිනුම් ශූරතාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් පමණක් නොව, වෙනත් රට වලද ඉහළ ශ්‍රේණිගත කිරීම් වල රැඳී සිටිනා ක්‍රීඩකයන්ද සහභාගී වූ අතර, එම සියලු ක්‍රීඩකයන් අතරින් ශ්‍රී ලාංකිකයෙකු අවසන් තරඟ වටය සඳහා තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද සුවිශේෂි කරුණකි.
ඉදිරියේදී පැවැත් වීමට නියමිත, ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසු කම් ලබා, ශ්‍රී ලංකාවට පදක්කමක් රැගෙන ඒම පිහිනුම් ශූර අකලංක පීරිස් ගේ බලාපොරොත්තුවයි.