Spread the love

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදයන හෙට (26) පස්වරු 04:00 දක්වා පැය 24 කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය අද (25) උදෑසන මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.

එම පද්ධතිය අද පෙ.ව 1130 පමණ වනවිට ත්‍රිකුණාමලය කී.මී. 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබේ.

එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.