කොවිඩ් -19 රෝගීන් දෛනිකව යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, මේ දිනවල දෛනිකව යම් කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බවය.
පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 05කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.
ඊට අමතරව කොවිඩ් ආසාදිත මරණ 02ක් ද පසුගිය දින 03 තුළ සිදුව ඇති බව වාර්තා වේ.
මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයත් සමග මෙම කොවිඩ් රෝගීන් වාර්තා වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.
“පසුගිය දින කිහිපය තුළ දී කොවිඩ් රෝගීන් යම් ආකාරයක දෛනිකව වාර්තා වීමේ තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. විශේෂයෙන් යාපනය රෝහලෙන් වාර්තා වුණා. කොවිඩ් මරණයක් වාර්තා වුණා. ඊයේ දිනයේ හා පෙරේදා දිනයේ කොවිඩ් රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. මේ තත්ත්වය අපි යම් ආකාරයක අවධානයට ගත යුතු තත්ත්වයක්. විශේෂයෙන් මේ වෙනකොට යම් ආකාරයක රට පුරා ශ්වසන රෝගී තත්ත්වයේ වැඩිවීමක් අපි දකිනවා. මේ අතරේ කොවිඩ් රෝගීන් ඉන්නවා ද කියන කාරණය පිළිබඳ යම් නිරීක්ෂණයක් හා පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ අවධානය යොමුකළ යුතුයි.”
පවතින තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ් නයින්ටීන් පරීක්ෂණ සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක යළිත් වරක් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව ද ඒ පිළිබද අවධානය යොමුකළ යුතු බවය.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, රට තුළ එන්නත්කරණය සාර්ථකව සිදුකර ඇති බැවින් හඹාගොස් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.
