නිමල් රාජපක්ෂ-
රට පුරා ගොවි ජනතාව වගා ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියේ දී ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි ඇතැම් විට පතරොම් තුවක්කු පවා නිකුත් කිරීමට සිදුවනු ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වනවිට පතරොම් තුවක්කු ලබා දෙන ලෙස ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලිම් රැසක් සිදු කර ඇතැයි ද කෘෂිකර්ම ඇමතිවරයා පවසයි.
වගාහානි වැඩිපුරම සිදු කරන වනසතුන්ගෙන් රිළවා ප්‍රධාන වේ. එමෙන්ම මොණරුන්, ඉත්තෑවුන්, වල් ඌරන් හා දඬුළේනුන් සිදු කරන වගාහානි ඉහළ ගොස් තිබේ. වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ සියලු උපක්‍රම අසාර්ථක වී ඇතැයිද පවසයි. .
එමනිසා වසරකට එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 31,000කට අධික ප්‍රමාණයක් වනසත්ව හානි නිසා රටට අහිමි වේ. 2022 වසරේ දී රිළවුන් විසින් කා දමා විනාශ කර ඇති පොල් ගෙඩි ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200ද ඉක්මවා ඇත. වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් රටට සිදුවන බව අනාවරණය වෙයි.
ඊයේ (04) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වගා ආරක්ෂා කර ගැනීමට වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන් දෙකක් ලුණුගම්වෙහෙර හා සූරියවැව දී සිදු කෙරිණි. ලුණුගම්වෙහෙර තල් සංවර්ධන මණ්ඩලයේ දී හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මෙම වැඩ සටහන් පැවැත්විනි.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සියයට 50 ණය සහන පදනමක් මත මෙම වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත. මෙහිදී එම වායු රයිෆල්වල වටිනාකමින් සියයට 50ක් රජය විසින් දරණ අතර ඉතිරි සියයට 50 ගොවින් විසින් ගෙවිය යුතුය.
වනසතුන් පළවා හැරීම වගා හානි ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ. ඊට එකම විකල්පය වනසත්ව ගහණය පාලනය කිරීම පමණි. මේ සඳහා පළමු අදියර යටතේ රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දීමට මුලික පියවර ගත්තත් සත්ව මිත්‍ර සංගම් යැයි කියා ගන්නා පිරිසක් නඩු පැවරීම නිසා එම වැඩ පිළිවෙළ අතරමඟ නතර කිරීමට සිදුවිය.
