Spread the love


නිමල් රාජපක්ෂ-

වගා හානි සිදුවූ ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා රුපියල් 17,000ක ඩීසල් වහාම නොමිලයේ ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් මෙසේ ඩීසල් ලබා දීමට ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. මෙම සහනය සලසනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙන වන්දි මුදලට අමතරවය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විනි. ඊට කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.

පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දෙන ලදී. කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබිනි.

එමනිසා මෙම ඉන්ධන තොගය මෙවර මහ කන්නයේ දී වගා කටයුතු සිදු කිරීමට නොහැකිව සිටින යල කන්නයේ දී වගා හානි සිදුවූ ගොවි ජනතාවට ලබා දීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය.