Spread the love

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීයව පවතින “මෝඛා” සුළි කුණාටුව මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් ඇති අතර එහි බලපෑම නිසා මෙරට ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

2023 වසරේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෝඛා සුළි කුණාටුවය.

මේ අතර මෝඛා චණ්ඩ සුළි කුණාටුව එළඹෙන 14 වන ඉරිදා දහවල් බංග්ලාදේශයේ චිතගොන් සහ කොක්ස් බසාර් ආශ්‍රිත ප්‍රදේශවලට ඇතුළු විය හැකි බව වාර්තා වේ.

ඒ පැයට කිලෝමීටර 150 – 175 ත් අතර වේගයකිනි.

සුළි කුණාටුව නිසා බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයේ අඩි 5 ත් 6 ත් අතර ප්‍රමාණයකින් මුහුදු රළ ඉහළ යා හැකි බවට අනාවැකි පළකර තිබේ.

මේ අතර, සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වැසි ඇති වෙමින් පවතී.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ රත්නපුර කලටුවාව ප්‍රදේශයෙනි.

එය මිලිමීටර 225.5 කි.