Spread the love

නිමල් රාජපක්ෂ

චීනයේ හයිනාන් (Hainan) පළාතේ පැවැත්වෙන china international consumer product expo 2026 ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයන්ට ආරාධනා කිරීම වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ චීනයේ හයිනාන් (Hainan) පළාතේ හයිනාන් පළාත් මහජන කවුන්සිලයේ ස්ථාවර කමිටුවේ උප සභාපති YAN Xijun මහතා අතර හමුවක් අද(18) දින කොළඹ Shangri-La හෝටලයේදී සිදුකෙරුණි.

මෙහිදී හයිනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා ඇති හැකියාව, දෙපාර්ශවය අතර කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ ආනයනය වැඩි දියුණු කිරීම, ශ්රී ලංකාව විසින් හයිනාන් වරාය හරහා අපනයනය කරනු ලබන මුහුදු ආහාර නිෂ්පාදන, ඇඟලුම් නිෂ්පාදන, කුළුබඩු සහ වෙනත් නිෂ්පාදන සඳහා තීරුබදු සහන ලබාගැනීම සහ ශ්‍රී ලංකාව තුළ හයිනාන් පළාතේ ආයෝජකයන් හට ඇති අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

මෙහිදී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා consumer expo 2026 ප්‍රදර්ශනය සඳහා කළ ආරාධනය ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවට ප්‍රකාශ කල අතර මෙම වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකික නියෝජිතයන්ගේ පැමිණීම තහවුරු කරන ලදි.

මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් රාජපක්ෂ මහතා, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන්ද, චීනයේ හයිනාන් (Hainan) පළාත වෙනුවෙන් MAI Zhenghua මහතා, NI Xingxu මහතා ඇතුළු නියෝජිතයන්ද එක්ව සිටියේය.