Spread the love

නව රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකු සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එම හමුවේදී ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ අතර, දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

එසේම නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම්, වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.