Spread the love

දේවින්ද පිණිදිය

මෙරට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණ ඇත.

එම විශේෂඥ නියෝජිත පිරිස ඊයේ (01) හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය, රෝහලේ බාහිර රෝගී අංශය ඇතුළු හලාවත ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවට අනුබද්ධ ආයතන වෙත ගොස් කරුණූ සොයා බැලූ අතර අනතුරුව ‌හලාවත පොලීසිය, නගර සභාව සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ද හමු වී කරුණු සාකච්ඡා කර ඇත. ඉදිරි දින කිහිපය තුළ ද එම පිරිස මෙරට ආපදාවට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය කරමින් මෙරට අවශ්‍යතා පිළිබඳව සිය මව්රටට තොරතුරු, දත්ත සහ වාර්තා ලබාදීම සිදු කරනු ලබයි.

එමෙන්ම මෙම සංචාරයේ දී හලාවල රෝහල ආශ්‍රිතව සිදු වී ඇති ආපදා තත්ත්වය පිළිබඳව මෙම කණ්ඩායමේ විශේෂ අවධානය යොමු වූ අතර, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර හලාවත පොදු ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් ඉතා කඩිනමින් බාහිර රෝගී ප්‍රතිකාර කඳවුරක් ස්ථාපිත කිරීමට ද මෙම පිරිසේ අවධානය යොමුව ඇත.

එම විශේෂඥ කණ්ඩායමට එක්වීම සඳහා තවත් අතිරේක වෛද්‍ය වෘත්තිකයන් 27 දෙනෙකු ඇතුළු පිරිසක් හෙට (03) ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතය.