Spread the love

නිමල් රාජපක්ෂ


උතුරේත්, දකුණේත් සමස්ත පොදු මහජනතාව ආණ්ඩුවට ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කරන්නේ සෑම පුරවැසියෙකුටම සාධාරණව සලකන්න. උතුරේ ආණ්ඩු, කොළඹ ආණ්ඩු කියා එදා දේශපාලනඥයින්, රටේ ජනතාවට සමාන සේවයක් නොකළ බවත්, වත්මන් රජය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ටත් උතුරු හා දකුණු ලෙස භේදයක් ඇති නොකර සාධාරණ ලෙස සලකන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කයිට්ස්, කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම නිල වශයෙන් ආරම්භ කරමින් ඊයේ 04 වන දින කුරිකඩ්ඩුවාන් මංසන්ධියේ පැවති ජනහමුව අමතමිනි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක ‘පුනරුදයට මඟ’ ජාතික වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. රුපියල් මිලියන 299 ක ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මේ සඳහා වැයකරනු ලබන අතර, මාර්ගයේ ඉදිකිරීම් මාස නවයක කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිත අතර, ඒ අනුව 2026.07.03 වන දින මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා : දිවයිනේ නන් දෙසින් පැමිණෙන දසදහස් ගණනක් ජනතාව නාගදීපයටත්, කෝවිල්වලටත් යාම සඳහා මෙම ප්‍රවේශ මාර්ගය භාවිතපකරනවා. එමෙන් ම දූපත්වල හැමදාම ජීවත්වන ජනතාවක් ද සිටිනවා. ගුරුවරු ඇතුලු රාජ්‍ය නිලධාරීන්ට වගේම පොදු මහජනතාවටත් මාර්ග පහසුකම් අත්‍යාවශ්‍යයි. සංචාරකයින් ගමනාගමනයේදී මුහුණදුන් අපහසුතා රැසක් මෙම ව්‍යාපෘතිය අවසන්වීමත් සමග අවසන් වෙනවා. ජනතාව බලාපොරොත්තු වන සාධාරණ ඉල්ලීම් රජය ඉටුකර දෙනවා වගේම වගකිවයුතු රජයක් ලෙස සැළසුම් කළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනවා. මෙම මාර්ගයේ අත්‍යාවශ්‍යතාව පිළිබඳ දැනුවත් කළේ නාවික හමුදා නිලධාරිවරයෙක්. එම ඉල්ලීම පිළිබඳ දිසාපති, නාවික හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර එම යෝජනා ද සැලකිල්ලට ගනිමින් මෙම කාර්යය ඇරඹීමට හැකිවුණා. මාර්ග භාවිතයත්, බෝට්ටු සේවාවන් පිළිබඳවත් මෙහිදී අවධානය යොමුකළා. සංවර්ධනයට නිසි සම්බන්ධීකරණයක් අවශ්‍යයි. අත්‍යවශ්‍ය සේවා සලසාගන්න විදුලිය, බලශක්තිය වගේම ඉහළ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. මෙම ප්‍රවේශ මාර්ගය සංවර්ධනයට සමගාමීව රුපියල් මිලියන 800 ක් වැයකරලා එකවර යාත්‍රා හතක් නවතා තැබිය හැකි ලෙස ජැටිය සංවර්ධනය කරනවා. එමෙන්ම ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීමට අමතරව කිලෝමීටර් 3.2 ක් වූ ඉතිරි මාර්ග කොටසත් සංවර්ධනය කරනවා. සති අන්තයේ එන බැතිමතුන් ඇතුලු 15,000 කට අධික ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපුරා දීමටත්, වාහන නවතා තැබීමට නව රථගාලක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක් ලබාදීමට අද දින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එකඟතාවකට පත්වුණා. නාවික හමුදාවේත් සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ මගින් ඩෙල්ෆ්ට් ජනතාවටත් කොළඹ මිළටම ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ ජෙනරේටරයට ඉන්ධන පහසුකම් ලබාදීමට පැය හතක කාලයක් ගත වෙනවා. පිරවුම්හළ ආරම්භ කළ පසු විනාඩි හතලිස් පහකින් එයට ඉන්ධන පොම්ප කිරීමේ පහසුකම සැලසෙනවා. අදියර දෙකක් යටතේ ඛණිජතෙල් සැපයීම් සේවාව ක්‍රියාත්මක කරනවා. පළමු අදියර සඳහා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් මිලියන පනහක මුදලක් වැය කරනවා.

ජාතික සමගියත්, ආගමික සමගියත් තහවුරු කළ රාජ්‍ය පාලනයක් මගින් භේදයකින් තොරව කරන මෙම සංවර්ධන ක්‍රියාදාමය නිසා එකම ජැටියේ එකම බෝට්ටුවකින් නාගදීපයටත්, අම්මාන් කෝවිලටත් සහජීවනයෙන් ගමන් කළ හැකි යුගයක් නිර්මාණය වී තිබෙනවා.