Spread the love

රටක් විදිහට අප විසින් නොගෙවා සිටින්නේ ද්වි පාර්ශවීය විදේශ ණය පමණක් බවත්, අනෙක් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කෙසේ වෙතත් මේ වන විට අප රට සතුව ඩොලර් බිලියන 3.6 ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය සතියේදී රටේ ආර්ථිකයට වැදගත් වන පනත් දෙකක් සංශෝධනය කිරීමටත් , තවත් රටේ ආර්ථිකය හා සම්බන්ධ රෙගුලාසි දෙකකට විවාදයකින් තොරවම පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගැනීමටත් කටයුතු කළ බවයි.
ඒ අනුව ආනයන අපනයන පනත සහ විනිමය පාලන සම්බන්ධයෙන් වූ රෙගුලාසි 02 ක් සඳහා අනුමැතිය ලබාගැනීමටත් , දේශීය ආදායම් පනත සහ සමාජ ආරක්ෂණ බදු පනත් සංශෝධනය කිරීමටත් කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.
එහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් භාවිතා කරණ උපකරණ සඳහා , සහල් සඳහා මෙන්ම ප්‍රතිඅපනයනය සඳහා ඔප නොදැමූ මැණික් ආනයනය කිරීමේදී පනවා තිබූ සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කටයුතු කළ බව ඔහු සඳහන්කළේය.
සංකෝචනය වූ ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රසාරණය කිරීම සඳහා වන පියවර මේ ආකාරයෙන් ගනු ලබන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.