ගම්පහ, අකරවිට ප්රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවිසැළක් තුළ ඊයේ (9) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමෙන් පසුවත් තුවාලකරුවන්ට ”උඹලා තාම මැරුණේ නැහැ නේද ?”යනුවෙන් නිර්නාමික තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට සමරේ නැමැත්තා විසින් මෙම වෙඩි ප්රහාරය මෙහෙයවා ඇතිබවට තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු වන 34 හැවිරිදි චාමර සඳරුවන් සහ ඔහුගේ සහායකයා වන 30 හැවිරිදි අසිත දේවින්ද තුවාල ලැබූහ.
තුවාලකරුවන් මේ වනවිට ගම්පහ මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
මෙම වෙඩි ප්රහාරයට ලක්වූ චාමර සඳරුවන් නම් වෙළෙඳසැලේ හිමිකරු, කෙහෙල්බද්දර පද්මේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පලාගිය වෙඩික්කරුවන් සොයා පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
