නිමල් රාජපක්ෂ-
තිරසාර සංවර්ධන උපායමාර්ග සමඟ අනුගතවෙමින් තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන හෙවත් 4 I ව්‍යාපෘතිය ඊයේ (22 දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වන ලදී.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) අංශය සවිබල ගන්වමින් ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා, ඵලදායිතාවය සහ අපනයන හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නවෝත්පාදනමය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන මෙම 4 I ව්‍යාපෘතිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම 4 I ව්‍යාපෘතිය පළමුව ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ අතර එම නියමු ව්‍යාපෘතිය තුළ තරුණ ව්‍යවසායකයින් 100 දෙනෙකු සංවර්ධනය කරනු ලැබූ අතර එහි විශිෂ්ට සාර්ථකත්වය මත, මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කරණ ලදී.
ඒ අනුව පළමු අදියර ලෙස මෙම වසරේදී දිස්ත්‍රික්ක 17ක මෙම 4 I ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉතිරි දිස්ත්‍රික්ක 8හි මෙම වැඩසටහන ලබන වසර මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන හරහා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තිරසාරව වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශන සහය, පුහුණු කිරීම සහ සම්පත්දායකත්වය ලබාදෙයි. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ අපනයන ආදායම වැඩි කිරීම සඳහා විශාල දායකත්වයක් ලැබෙනු ඇත.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, නිෂ්පාදන ආර්ථිකයක් බිහිකරමින් ජාතික නිෂ්පාදනය වර්ධනය කර අපනයන ආදායම ඉහළට ගෙන ඒම රජයේ අරමුණ බවත් ඒ සඳහා අපේ දේශීය තරුණ ව්‍යවසායකයින් විදේශ වෙළඳපොළ අත්පත් කරගනිමින් “Made In Sri Lanka” සන්නාමය ජාත්‍යන්තර වෙත ගෙනයා යුතු බව පැවසීය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අදහස් දක්වමින් පැවසුවේ සමස්ත කර්මාන්ත ක්ෂේත්රයේම ඵලදායිතාව ඉහළ නංවමින් සංවර්ධන ඉලක්ක ලගාකර ගැනීමට කර්මාන්ත අමාත්‍යාංශය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරන බවයි.
