කැලුම් ලියනගේ
භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, ධර්මධර,විනයධර, ශ්‍රාස්ත්‍රිය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසුවාය.
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අද 07) පැවති සියලු පහසුකම් සහිත නව බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීම සහ අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍ර අභිනන්දනොත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
සියලු පහසුකම් සහිත නව බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු පළකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළාය. අනතුරුව සිදු කළ සේවාව අගයමින් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ, සම්මානිත මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර මහතා සහ අධිනීතීඥ මහින්ද රළපනාව යන විද්වතුන් වෙනුවෙන් උපහාර ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණ.
.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.
අපේ ඉතිහාසය දෙස හැරී බලන විට, විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ භික්ෂූන් වහන්සේලාට කිසිසේත්ම ආගන්තුක වූවක් නොවෙයි.ලෝක ප්‍රකට නාලන්දා, වික්‍රමශිලා, වැනි දැවැන්ත අධ්‍යාපන ආයතන ලෝකයට දායාද වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙනුයි.
අනුරාධපුරයේ මහාවිහාරයත්, අභයගිරියත් එදා ධර්ම ශාස්ත්‍රය ලබාදුන්, ජාත්‍යන්තර කීර්තියට පත් ආයතන ලෙස ක්‍රියා කළා.
විදේශ ආධිපත්‍යය හමුවේ පිරිහී ගිය ඒ ශාස්ත්‍රීය උරුමය වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් යළි පණ ලැබූවා.
1959 දී විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල මට්ටමට ඔසවා තැබීම එම ගමන් මගෙහි තීරණාත්මක පියවරක් වුණා.
අද අප උත්සාහ කරන්නේත්, එම උරුමය නවීන ලෝකයට ගැළපෙන පරිදි විද්‍යාත්මක හා තාර්කික පදනමකින් යුතුව ඉදිරියට ගෙන යාමටයි.
අපේ රජයේ ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුණාත්මක අධ්‍යාපනයක් සෑම පුරවැසියෙකුටම ලබා දීම මෙන්ම අධ්‍යාපනය පොදු මානව අයිතිවාසිකමක් බවට පත් කරමින් අපේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය මෙරට උසස් අධ්‍යාපන පද්ධතිය තුළ සුවිශේෂී වන්නේ එහි පාලනය හා අධ්‍යයන කටයුතු භික්ෂූන් වහන්සේලා වෙතම පැවරී තිබීම නිසයි. මෙහි ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ හුදෙක් උපාධිධාරීන් බිහි කිරීම පමණක්ම නෙමෙයි. සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනී සිටින, ධර්මධර, විනයධර මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් රටටත්, ලෝකයටත් දායාද කිරීමයි.
භික්ෂූන් වහන්සේලාට පාලි, සංස්කෘත වැනි සම්භාව්‍ය භාෂා මෙන්ම නූතන ලෝකය ජය ගැනීමට අවශ්‍ය භාෂාමය දැනුම හා තාක්ෂණික මෙවලම් ලබා දීම හරහා ජාත්‍යන්තර මට්ටමින් බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීමට අප උපරිම සහාය ලබා දීමට සූදානම් බව මේ අවස්ථාවේ මම කියන්න කැමතියි.
