Spread the love


නිමල් රාජපක්ෂ-

පංචවිධ සවිබලගැන්වීමේ ක්‍රමවේදය ඔස්සේ ඉදිරි වසර 5 තුළදී දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමට සැලසුම් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමති ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි

ඇමතිවරයා එසේ පැවසුවේ යැපුම් මානසිකත්වයෙන් මිඳී, ස්වෝත්සහයෙන් නැගීසිටින අභිමානවත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය මගින් දියත්කර ඇති ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන පිළිබඳ ඊට සෘජුව දායක වන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ගාල්ල හොල් ඩි ගෝල් ශාලාවේදී ඊයේ (16) පැවැති අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,මේ සදහා මූල්‍යාධාර හෝ ද්‍රව්‍යමය ආධාර ලබාදීමක් මෙහිදී සිදු නොකරන බවත් ප්‍රජාව සතු ශක්තීන් හඳුනාගෙන ඒවා තුලින් පවුල් ඒකක සවිබලගැන්වීමට සැලසුම්කර ඇති බවත්ය. දැනටමත් රජයෙන් රුපියල් මිලියන 1500ක් මේ සඳහා වෙන් කර තිබෙන අතර පොළී රහිත හා සහන පොළී යටතේ ණය ආධාර ලබාදීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 55000ක් දැනටමත් වෙන කර තිබෙන බවද පැවසුවේය.

ප්‍රජාව තුළින් ගොඩනැගෙන ශක්තීන් හඳුනාගනිමින් ප්‍රජා සහභාගිත්වය හරහා දිළිදුකම පිටු දැකීම ඉලක්කකරන මෙම සංවර්ධන වැඩසටහන ගම්මට්ටමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කෙරේ.
ග්‍රාමසේවා වසම් මට්ටමින් දිළිඳු පවුල් තෝරාගැනීම, පවුල් ඒකක සඳහා වෙන් වෙන් වශයෙන් පවුල් සංවර්ධන සැලසුම් සකස්කිරීම, එම සැලසුම් ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම් කිරීම මෙන්ම තෝරාගත් දිළිඳු පවුල් යම් කාලරාමුවක් තුල සවිබලගැන්වීමද සිදු කෙරේ.

ඒ සඳහා රේඛීය අමාත්‍යංශ, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධකර ගැනීමට නියමිතය බවද මෙහිදි ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිශාන්ත සමරවීර, තිලංක යූ ගමගේ,ටී.කේ ජයසුන්දර මහත්වරුන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම් ධර්මසිරි මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සමාජ ආරක්ෂණ) හේමා පෙරේරා මහත්මිය,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටි.කේ.එස් සුබෝදීනි මහත්මිය, ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කාංචනා චතුරානි මහත්මිය, සමෘද්ධි කළමණාකාර මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවුහ.