Spread the love

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී පිරිමි දරුවෙකු ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් ඇති අතර දුම්රියෙන් බැසීමේදී ඔහු  දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැස තිබේ.

එම අවස්ථාවේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පැමිණ ඇති බැවින් ඔහු එම දුම්රියේ ගැටී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රඹුක්කන පොලීසිය සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.