නිමල් රාජපක්ෂ-
වසර 20 ක් පුරා දුම්රිය සේවකයින්ට ලබාදුන් වැටුප් වර්ධන කප්පාදු කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව අරඅදින බව සමස්ථ ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පි විතානගේ මහතා පවසයි.
දුම්රිය සේවකයින්ගේ කිසිදු මැදිහත්වීමකින් තොරව ශ්‍රේණි 07 ක් සඳහා 2004 සිට ගෙවා ඇති වැටුප් වර්ධක වසර 20 කට ආසන්න කාලයක් ලබාදි තිබේ. තාක්ෂණ ශිල්පී සහායකයින් සඳහා 2015 වසරේ ලබාදී ඇති වැටුප පියවර 06 කින් අඩුකිරීමටත් කටයුතු කර ඇත. ඒ අනුව ගණනය කිරීමේදී එක් සේවකයෙකුගෙන් ලක්ෂ ගණනක් අයකිරීමට සිදුවේ.මේය දුම්රිය පරිපාලනයේ අවිධිමත්කම මිස සේවකයින්ගේ ප්‍රශ්නයක් නොවන බවද විතානගේ මහතා පවසයි.
2003 වසරේ දුම්රිය අධිකාරියක් කිරීමේදී, දුම්රිය අධිකාරියට දුම්රිය සේවකයින් පොළඹවා ගැනීම සඳහා එවකට පැවති එ.ජා.පක්ෂ ආණ්ඩුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි 07 ක සේවකයින්ට වැටුප් වර්ධක 3 ක් ලබාදෙන ලදි. මෙම වැටුප් වර්ධක ලබාදී දැනට වසර 20 කට ආසන්න කාලයක් ගතවී ඇති අතර හිඟ මුදල්ද සමගින් එම මුදල් ශ්‍රේණි 07 කට අයත් සේවකයින්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම එම සේවකයින්ට කරන බරපතල අසාධාරණයකි.
එමෙන්ම දුම්රිය තාක්ෂණ ශිල්පී සහායක සේවකයින්ට වැටුප් ගණනය කිරීමේදී PL-III වැටුප් ඛණ්ඩයේ 12 වන පියවරෙහි තබා ගණනය කර ඇති අතරඑය නැවත පියවර 06 කට අඩුකිරීමටත් ඒ අනුව වසර 09 කට වැඩි කාලයක් තුළ තාක්ෂණ ශිලිපී සහායක ශ්‍රේණියේ සේවකයින්ට ගෙවා ඇති වැටුප් අඩුකිරීමටත් කටයුතු කර ඇත.
මේ කිසිදු වැටුපක් හෝ වැටුප් වර්ධකයක් දුම්රිය සේවකයින් ඉල්ලා ලබාගත් ඒවා නොවන බව අවධාරණයෙන් පෙන්වා දෙන අතර වසර 20 කට ආසන්න කාලයක් හා වසර 09 කට වැඩි කාලයක් දුම්රිය සේවකයින්ට ගෙවා ඇති මෙම වැටුප් නැවත අයකිරීමෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට පත්ව සිටින දුම්රිය සේවකයින් කබලෙන් ලිපට ඇදවැටීමක් වනු ඇති බවද පෙන්වා දෙමු.
ඒ අනුව එම කාලය තුළ සේවකයින්ට ගෙවා ඇති අතිකාල හා වෙනත් දීමනා සඳහා ගෙවා ඇති මුදල්ද අයකිරීමට කටයුතු කිරීම නිසා සේවකයින්ගේ වැටුපෙන් ලක්ෂ ගණනක් අය කිරීමට සිදුවන බැවින් එය මහත් අසාධාරණයක් බවද පෙන්වා දෙමු. මෑතදී විශ්‍රාම ගිය සේවකයින්ට විශ්‍රාම වැටුප් ගණනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර, 2004 පසු සහ 2015 සිට විශ්‍රාම ගිය සේවකයින්ගෙන්ද මෙම මුදල් අයකිරීමට සිදුවීමෙන් බරපතල ප්‍රශ්නයක් උදාවනු ඇත.
ඔබතුමාගේ ලිපිවල සඳහන් පරිදි, අවිධිමත් පරිදි දුම්රිය සේවකයින්ට වැටුප් වර්ධක ලබාදී ඇත්නම්, එසේ ලබාදීමට කටයුතු කර ඇත්තේ දුම්රිය බලධාරීන් බවත් ඊට කිසිදු දුම්රිය සේවකයෙකු වගකිය යුතු නොවන බවත් අවධාරණයෙන් පෙන්වා දෙමු. එමෙන්ම දුම්රිය සේවකයින්ට අවිධිමත් පරිදි වැටුප් වර්ධක ලබාදී ඇත්නම් එසේ ලබාදී ඇති දුම්රිය බලධාරීන්ගේ වැටුපෙන් එම මුදල් අයකිරීමටත් විශ්‍රාම ගොස් ඇත්නම් එම නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපෙන් එම මුදල් අයකිරීමටත් නීතිමය පියවර ගන්නා ලෙසත් දුම්රිය සේවකයින්ගෙන් එම මුදල් අයකිරීම වහාම නතර කරන ලෙසත් සමස්ථ ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ඉල්ලා සිටී
