ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ පළමු අදියර සඳුදා ( 13) සිට සෙනසුරාදා ( 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකවෙයි.
තමන්ගේ හැඳුනුම්පත යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වී ඇත්නම් එවා වහාම අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් #132# අංකය ඇමතීමෙන් තොරතුරු තහවුරුකරගත හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.


