2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය සහ නාවික ධජ වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පූජා පුණ්‍ය මහෝත්සවය, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2025 ඔක්තෝබර් මස 30 සහ 31 දිනයන්හි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පුදබිමේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනුෂා බානගොඩ මැතිනියද සහභාගී විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, එම වැඩසටහන් මාලාවේ බෞද්ධාගමික වැඩසටහන් ආරම්භ කරමින්, 2025 ඔක්තෝබර් මස 30 දින සන්ධ්‍යාවේ නාවික හමුදාධිපති විසින් රුවන්වැලි සෑ විහාරවාසී, මහ විහාර මහා පිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය කුඩාගල ඥානවිමල නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු කඤ්චුක පූජා පිංකම රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී බෞද්ධාගමික වත් පිළිවෙත් අනුගමනය කරමින් පැවැත්විණි. එහිදී, අලංකාරවත් පෙරහැරකින් රැගෙන ආ බෞද්ධ ධජයක් රුවන්වැලි මහා සෑ ගර්භය වටා පැළඳවීම නාවික හමුදාධිපති ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් සිදුකිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික හමුදාව වෙත ආශිර්වාද ප්‍රාර්ථනය කෙරිණි.
