Spread the love

නිමල් රාජපක්ෂ
මීගමුව කලපු ප්‍රදේශයේ සහ හලාවත කරුකපනේ කලපු ප්‍රදේශයේ පසුගියදා (09-10) යන දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය හතලිස් දෙකක (742) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.


ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනය, මීගමුව කලපුවේ කොතලාවල පාලම අසල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකල සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කර, නිති විරෝධි ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහ කල පාර්සල් 16 ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සීය දහ තුනක (513) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
එමෙන්ම, වයඹ නාවික විධානයේ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලගන මුලස්ථානය මගින්, හලාවත කරුකපනේ කලපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැක කටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්‍ෂා කර, එම යාත්‍රා තුල පාර්සල් හයක (06) අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙසිය විසි නමයක (229) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා ‍දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම මෙහෙයු‍ම් මගින් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය සහ ඩිංගි යාත්‍රාව කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත සහ හලාවත කරුකපනේ කලපුවේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය හා ඩිංගි යාත්‍රා හලාවත සුරාබදු විශේෂ ඒකකය වෙත, ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.