නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 ජුනි 20 සිට ජුනි 30 දක්වා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය හා බීජ තොගයක් සමඟ ලොරි රථයක් (01), සහ නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2025 ජුනි මස 20 වැනි දින පුත්තලම ආලන්කුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ලොරි රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ලොරි රථයේ තිබූ උර තිස් දෙකක (32) අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කෘමිනාශක ද්‍රව්‍ය සහ බීජ තොගයක් සමඟ එම ලොරි රථය (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, විජය ආයතනය මඟින් 2025 ජුනි මස 28 වැනි දින කල්පිටිය ඉප්පන්තිව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා 02ක තුල තිබූ උර පහලවක (15) අසුරන ලද, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරෙණ, මෙම කෘමිනාශක ද්‍රව්‍ය, බීජ තොගය, ලොරි රථය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.