Spread the love

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින අතර ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් 61 පුද්ගලයින් 240 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් ගනේශ අමරසිංහ මහතා පැවසුවේය.

නිල්වලා ගඟ සහ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර පිටාර ගැලීමෙන් අද (26) උදෑසන වනවිට මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යටව පැවතියේය.

ඊයේ (25) දිනයට සාපේක්ෂව අද උදෑසන වන විට ජලයෙන් යටව තිබූ බොහෝ මාර්ගවල ජලය බැස ගොස් ගමනාගමනය යථාතත්ත්වයට පත් වී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය සඳහන් කළේය.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස කද්දුව හරහා මාලිම්බඩ මාර්ගය මාලිම්බඩ උතුර මහා විද්‍යාලයේ අසලින් හා කද්දුව විටියල මාර්ගය මැද්දගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් යටව පවතින අතර කිරම ආර පිටාර ගැනීමෙන් කඹුරුපිටිය කද්දුව මාර්ගය ගෝදව ප්‍රදේශය තවදුරටත් ජලයෙන් යටව පැවතිමෙන් ගමනා ගමන කටයුතුවලට බාධා මතුව තිබේ.

නිල්වලා ගංගාවේ සහ එහි අතු ගංගාවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බව මාතර ආපදා කළමනාකරන ඒකකය විසින් පැවසු අතර, උසස් පෙළ විභාගය සඳහා ගමන් කරන දරුවන් සඳහා සකසා ඇති විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළ අද දිනයේ ක්‍රියාත්මක කළ බව එම ඒකකය වැඩිදුරටත් කියා සිටියේය.