Spread the love


නිමල් රාජපක්ෂ-

පාලන මිලට වැඩියෙන් කීරි සම්බා අලෙවි කරන්නන් නීතියේ රැහැනට ගැනීම සදහා පාරිභෝගික අධිකාරයි දිගින් දිගටම වැටලීම් සිදු කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.


මේ දිනවල වෙළෙඳපොලේ කීරි සම්බා සහල්වල විශාල හිඟයක් ඇතත් එම හිඟය සහල් මා‌ෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයකි. අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රට තුළ පැවැතියත් ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳපොලට සැපයීම අවම කර තිබේ.

පසුගිය යල කන්නයේ කීරි සම්බා වගා කිරීම අඩු වුනත් ඉන් පෙර මහ කන්නයේ කීරි සම්බා වගා කිරීම නිසා එම වී සහ සහල් තොගවල අඩුවීමක් සිදු වී නැත.

කීරි සම්බා සහල් අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුනත් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 305-310 වශයෙන් මිලකට සහල් සඟවා තබා ගනිමින් අලෙවි කිරීමට ඇතැම් ව්‍යාපාරිකයෝ කටයුතු කරති.

නමුත් බහුතරයක් ජනතාව පරිභෝජනයට ගන්නා නාඩු සහල්, රතු කැකුළු වැනි සහල්වල කිසිදු හිඟයක් නොමැති අතර අවශ්‍ය තරම් සහල් තොග මෙන්ම වී තොග රට තුළ පවතී.
දැනට පුද්ගලික සහල් මෝල් අයිතිකරුවන් හා සහල් ව්‍යාපාරිකයින් සතුව අවශ්‍ය තරම් කීරි සම්බා වී සහ සහල් තොග ඇතත් ඔවුන් සිතා මතාම සහල් මිල ඉහළ නැංවීම ඉළක්ක කර ගනිමින් කීරි සම්බා වෙළෙඳපොලට සැපයීම අවම කර තිබේ.


මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් වැටලීම් මෙහෙයවනු ලබන නමුත් බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නියැලෙන බවයි.