Spread the love

පාසල් පෙළපොත් නොමිලේ ලබා දීම රජය විසින් ක්‍රමානුකූලව අත්හිටුවීමට නව ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, 2026 වසරේදී පළමු වසරේ පළමු වාරය සඳහා සිංහල විෂය මාලා මොඩියුලය තුළ පමණක් QR කේත 42ක් ඇතුළත් කර ඇති බවයි. මේ හේතුවෙන් දරුවන්ට අවශ්‍ය පාඩම් කොටස් මුද්‍රණය කරගැනීමේ විශාල බරක් දෙමාපියන්ට පැටවෙනු ඇතැයි ඒ මහතා අවධාරණය කරයි. මෙම නව ක්‍රමවේදය දෙමාපියන්ට දැඩි අපහසුතාවක් ගෙන දෙන බව ගුණවර්ධන මහතාගේ අදහසයි.

තවදුරටත් අදහස් දක්වන ඔහු අනතුරු අඟවන්නේ, මෙම තත්ත්වය අවබෝධ කර ගන්නා පෞද්ගලික අංශය ඉක්මනින්ම එම මොඩියුලයන්ට අදාළ පෙළපොත් මුද්‍රණය කොට වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, වසර ගණනාවක් තිස්සේ නොමිලේ ලැබුණු පාසල් පෙළපොත් සඳහා දෙමාපියන්ට මුදල් ගෙවීමට සිදුවන අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා රටේ අනෙකුත් බහුජන සංවිධාන සමඟ එක්ව මැදිහත් වන බවට ද ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.