Spread the love

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා එක් ආනයනකරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව මෙම සහල් ආනයනය සිදුකිරීමට නියමිතය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000ක් වෙයි.

එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%කි. එනම් මෙට්‍රික්ටොන් 246,000ක් පමණ වෙයි.