Spread the love


නිමල් රාජපක්ෂ-

රටට සතුරු විනාශකාරී ගමනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක ගමන් නොකරන බවත් ,ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් තම පක්ෂයට නොමැති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එබැවින් විපක්ෂ මවන බොරු බිල්ලන්ට බිය නොවී ආර්ථිකය ස්ථාවර කර රට දියුණු කිරීමට වර්තමාන රජයට සහය දක්වන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව අමතමින් අමාත්‍යවරයා ඊයේ (17) මේ බව සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,විපක්ෂය මැතිවරණයක් ඉල්ලලා කෑ ගහනවා. ඡන්දය දුන්නේ නැත්නම් කොළඹ වටලනවා කිව්වා. මම ටී.වී එකේ දැක්කා බොහොම සුළු පිරිසක් තමයි ඇවිල්ලා හිටියේ. මම හිතන්නේ ඒක ඔවුන් විනෝදෙට කරන දෙයක්. ඡන්දය ඉල්ලල වැඩියෙන්ම කෑ ගහන්නේ සියයට තුනේ රතු සහෝදරයෝ ටික. ඔවුන්ගේ ඉතිහාසය බලන්න. ජ.වි.පෙ ඔවුන්ගේ ඉතිහාසයේ වැඩියෙන්ම කරලා තියෙන්නේ මැතිවරණ මඟ ඇරපු එකයි. සජිත් මහත්තයා ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට ඉදිරිපත් වෙනවා කියලා අන්තිම මොහොතේ මඟ ඇරියා.

මේ දෙගොල්ලටම මහ පොළවේ දේශපාලන යථාර්ථය තෙරේන්නේ නෑ. සෙනඟ දැක්ක ගමන් දෙගොල්ලම චූං වෙනවා. ප්‍රායෝගික දේශපාලනය මීඩියා ඉස්සරහ ෂෝ දානවා වගේ සරල දෙයක් නෙමෙයි.

රජය ආර්ථික අර්බුද විසදෙන්න පටන්ගත්ත විතරයි. මේ වගේ වෙලාවක ඡන්ද තියන්න ගියොත් ප්‍රශ්න තවත් උග්‍ර වෙනවා.මේ ඇත්ත තේරුම් ගන්න බැරි මිනිස්සු බලය අරගෙන රට හදයි කියල අපිට විශ්වාස කරන්න පුළුවන්ද. වෙන රටක විපක්ෂයක්නම් අර්බුද විසඳන්න පවතින රජයට උදව් කරනවා.ඒත් අපේ රටේ විපක්ෂය ජනතාවගේ හිත් ඇතුලෙ බොරු බිල්ලෙ මව මවා රජයේ ගමන අවහිර කරනවා.ජනාධිපතිතුමා සුදුසු වෙලාවෙදි රටට ගැලපෙන මැතිවරණයක් තියාවි.එතකම් අපි ඔක්කොම එකතුවෙලා රට හදමු. දේශපාලන කරන වෙලාවට දේශපාලන කරමු යැයිද පැවසුවේය.