Spread the love


නිමල් රාජපක්ෂ-

රටේ පවතින බිත්තර ගැටළුව සියලු පාර්ශ්ව එක්ව විසඳා ගැනීමේ වැඩ පිළිවෙළක් අද සිට අරඹන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමතිවරයා එසේ පැවසුවේ රට තුළ උද්ගතව පවතින බිත්තර හිඟය සම්බන්ධව පැන නැගී ඇති කරුණු අවධානයට ගනිමින් බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු මූලික කර සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමක දීය.
බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන සියල්ලම සහභාගිත්වයෙන් අද දින එම සාකච්ඡාව පැවැත්විනි.
එහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී සියලු පාර්ශ්ව එක්ව කටයූතු කළ යුත්තේ රටේ පවතින බිත්තර හිඟය තුරන් කරලීම මෙන්ම ජනතාව මුහුණ දී සිටින පෝෂණ ඌනතාවලට පිළිතුරු සෙවිම විනා ගහමරා ගැනීම නොවන බව සඳහන් කළේය.

එමනිසා බිත්තර හිඟය අවසන් කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවත්, කෙටිකාලයක් තුළ නැවතත් ර‌ට බිත්තර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

දැනට වෙළෙද පොළෙහි පවතින බිත්තර හිඟය තුරන් කරලීම සදහා නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම දෛනික බිත්තර අවශ්‍යතාව සම්පූර්ණ වන තෙක් බිත්තර ආනයනය කිරීම යන කරුණු සම්බන්ධව ද තීරණ කිහිපයක් ගනු ලැබීය.

ඒ අනුව ආනයනය කරන ලද බිත්තර එක් දිනක් තුළ වරායෙන් නිදහස් කිරීම සදහා සිදුකරන සාම්පල පරීක්ෂාව සදහා අවශ්‍ය බිත්තර සාම්පල කඩිනමින් ලබා ගැනීම, දැනට මව්සතුන් ආනයනය කිරීම හා කුකුළු පැටවුන් අවශ්‍ය තරම් කුකුළු ගොවිපොළවලට ලැබෙන බැවින් දෙසැම්බර් මාසය වනවිට දැනට පවතින දේශීය බිත්තර හිඟය තුරන් කිරීමේ ඉළක්කය ජය ගැනීම, සත්ව ආහාර සඳහා සහල් ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම. බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිල ඉවත් කිරීම සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කර තීන්දුවක් ගැනීම. සියලු අංශවලින් සමන්විත කමිටුවක් පත් කර මාසිකව රැස්වී දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ සාමුහිකව ගැනීම, ආනයනික බිත්තර තවදුරටත් බේකරි හා හෝටල් කර්මාන්තය සදහා පමණක් ලබා දීම හා සිල්ලර වෙළෙඳපොලෙහි අලෙවියට ඉඩ නොදීම.
බිත්තර ආනයනයේ දී විශේෂයෙන් කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද නිර්දේශ තවදුරටත් ක්‍රියාත්මක කිරීම.
දැනට දෛනික දේශීය බිත්තර අවශ්‍යතාවය මිලියන 07කි. මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය දෛනිකව මිලියන 5.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දෛනික බිත්තර අවශ්‍යතාවය සදහා පවතින හිඟය මිලියන 1.4ක් පමණ වේ. මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට තවදුරටත් බිත්තර ආනයනය කිරීමේ ගැටළුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පැවසීය.,
කෙසේ වුවද මෙම වසර අවසන් වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාමත් සමග බිත්තර තවදුරටත් මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව වෙළද හා පාරිභොගික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.