නිමල් රාජපක්ෂ
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි අපරාධ නීති පද්ධතිය තුල මත්ද්‍රව්‍ය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් දකුණු කොරියානු රජය විසින් KOICA ව්‍යාපෘතිය මඟින් දියත් කරන ලද ව්‍යාපෘතිය අවසන්වීමෙන් පසුව පවත්වන ලද නිල උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (31)පෙරවරුවේ පැවැත්විණි.
දකුණු කොරියානු රජය මඟින් කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (KOICA) මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීති පද්ධතිය තුල මත්ද්‍රව්‍ය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීම සඳහා 2021 වසරේ සිට 2025 වසර දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වු සියලු උපදේශක සේවාවන්, නව තාක්ෂණික ක්‍රමවේද ස්ථාපනය කිරීම, නිලධාරීන් පුහුණු කිරීම් කොරියාවේ අපරාධ පරීක්ෂණ සේවා ආයතනය විසින් සිදු කරන ලදී.
ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක මුදලක් දකුණු කොරියානු රජය විසින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති අතර, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ ධූලක විද්‍යා අංශය සහ මත්ද්‍රව්‍ය අංශය යන අංශ දෙක සඳහා විද්‍යාගාර පුළුල් කර යාවත්කාලීන කිරීම, නවීන අධි තාක්ෂණික යන්ත්‍ර උපකරණ ලබාදීම ද සිදු කර තිබේ.
මෙම ව්‍යාපෘතියට සමඟාමීව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක නිලධාරීන් 08 දෙනෙකුහට අධිකරණ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව දකුණු කොරියාවේ SKK විශ්ව විද්‍යාලයේදී හැදෑරීමේ අවස්ථාව සහ විද්‍යාත්මක නිලධාරීන්හට කොරියාවේ අපරාධ පරීක්ෂණ සේවා ආයතනයේ පුහුණුවීමේ අවස්ථාවද ලබාදී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය, ආණ්ඩුවේ රස පරීක්ෂක සන්ධ්‍යා රාජපක්ෂ, KOICA හි මෙරට අධ්‍යක්ෂක Yooli Lee, ව්‍යාපෘතියෙහි කළමණාකාර Hyeyeong Choi මහත්මීන් මෙහිදී අදහස් පළ කළ අතර, UNOPS හි මෙරට අධ්‍යක්ෂක Charles Callanan , කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න යන මහත්වරුන් ඇතුළු කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
