යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නම් පාසල් දැරියක් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මරණීය දණ්ඩනය නියම වී සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන්ට සමාව ප්‍රදානය කර, එම දඬුවම වසර 20 දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.
මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානායක යන අය විසින් මූලික විරෝධතා මතු කර තිබෙනවා.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ නිසි නීතිමය කාල සීමාව ඉක්මවා යාමෙන් පසුව බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණය මගින් වරදකරු කළ පුද්ගලයින්ට සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා සතු පරම අයිතියක් බවත්, එවැනි සමාවක් ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටීමට පෙත්සම්කරුවන්ට නීතිමය හිමිකමක් නොමැති බවයි වැඩිදුරටත් කරුණු දක්වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර තිබෙන්නේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන ඒකමතිකව නිෂ්ප්‍රභා කිරීමට තීන්දු කර තිබෙනවා.