Spread the love

නිමල් රාජපක්ෂ

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරන ‘විෂන්’ වැඩසටහන් මාලාවට සමගාමීව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අද (28) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය, ජනාධිපති අරමුදලේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සිදු කෙරිණ. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු විය.

මහාමායා විද්‍යාලයේ විදුහල්පතිනි ශෂිකලා සේනාධීර මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට විශේෂ සමරු තිලිණයක්ද පිළිගැන්වූවාය. අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන්හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

විශ්වීය දැනුම අත්පත් කර ගැනීම සඳහා අනාගත දරු පිරිස සූදානම් කිරීම මෙන්ම, රටට වැඩදායී  ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම රජයේ අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් රැකියා වෙළෙඳපොළ අරමුණ කිරීම පමණක් නොව සමාජයට නායකත්වය දෙන, ලෝකය වෙනස් කිරීමට අවධානය යොමු කරන අනාගත පරපුරක් බිහි කිරීම අරමුණු කරන බවත්, එය කාලීන අවශ්‍යතාවක් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

පාසල් අතර සම්පත් බෙදී යාමේ විෂමතාව නැති කිරීම රජයේ අරමුණ බවත්, ඒ සදහා පුරවැසියාගේ වගකීමේ වැදගත්කම මෙන්ම පාසල් සිසුසිසුවියන්ගේ අදහස් සහ යෝජනා ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ලබා දීම සහ ‘විෂන්’ සඟරාව පාසල වෙත පිළිගැන්වීමද අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ඒ. සර්වේස්වරන්, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද , ගුරු භවතුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.