Spread the love

නාගොඩ -සුමන

ලෝක කම්කරු දිනය මෙවර අභිමානයෙන් සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර තිබේ. 
මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්තේදී පැවැත්වෙන බවයි.

සමගි ජනබලවේගයේ මැයි දින රැළි මෙවර කොටුව චැතම් වීදියේදී හා තලවාකැලේදී පැවැත්වෙන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු තිස්ස අත්තනායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින රැළිය මෙවර බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පක්ෂයේ සියලු සාමාජිකයින් පැමිණෙනු ඇතිබව එම පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අතර රට හදන විසඳුමට, ජන බලය එක පෙළට තේමා කර ගනිමින් ජාතික ජනබලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වෙයි. 
කොළඹ මැයි පෙළපාලිය සවස 02 .00 ට බී. ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර රැළිය සවස 03.30 ට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිතයි.
යාපනයේ මැයි රැළිය පෙරවරු 10.00 ට නන්දයි සෙල්වා රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. 
ජාතික ජනබලවේගයේ මාතර මැයි පෙළපාලිය සවස 02.00 ට රාහුල හංදියෙන් ආරම්භ වී සවස 03.30 ට මාතර වෙරළ උද්‍යානයේදී රැළිය පැවැත්වීමට නියමිතයි.
අනුරාධපුර මැයි පෙලපාලිය සවස 02.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර මැයි රැළිය සවස 03.30 ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ජාතික ජනබලවේගය වැඩිදුරටත් පවසයි.