Spread the love


නිමල් රාජපක්ෂ-

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් මිලියන 110ක් වටිනා දුම්වැටි තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ දුම්වැටි මිලියන 4.5 ක් තිබු බව රේගු මාධ්‍යප්‍රකාශකවරයා පැවසුවේය.

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී අද (11) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්, ග්‍රේලයින් බහාලුම් අංගනයේ දී එම දුම්වැටි තොගය සොයගෙන ඇත.

ඉන්දියාවේ රේගු බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකාවේ රේගු බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලබාදුන් තොරතුරු මත එම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.

එම බහාලුම පසුගිය 07 වනදා ඉන්දියාවේ කට්ටුපල්ල වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබුණි.

වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් “100% කපු රෙදි සහ ප්ලාස්ටික් බොත්තම් ” මෙම බහාලුම තුළ ඇති බවට රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබුනද මෙම බහාලුම තුළ එවැනි කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම දුම්වැටි තොගය මෙසේ කොළඹ වරායෙන් පිටකර ගත්තේ නම් රුපියල් මිලියන 316ක තීරු බදු ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් මෙම බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු බුද්ධි අංශ නිලධාරීන් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.