Spread the love

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම,  වයඹසහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි..

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8ක් සඳහා නිකුත් කළ නායයාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තව දුරටත් ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි