මුල් ආකෘතිය වෙනස් කළ ත්රිරෝද 10කින් සංචාරයේ ගිය රියැදුරන් දස දෙනකු පසුගියදා (08) අත්අඩංගුවට ගත් බව කොත්මලේ පූඩළුඔය පොලිසිය පවසයි.
මොවුන් ත්රීරෝද රථවලින් පූඩළුඔය පාළුවත්ත ප්රදේශයේ සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේ පූඩළුඔය ගම්පොළ ප්රධාන මාර්ගයේ දි මගියකු අනතුරට පත් කර බරපතල තුවාල සිදු කර පලා ගොස් තිබුණා. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම ත්රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට කළ මෙහෙයුමකදී අදාළ ත්රීරෝද රථ 10ම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
අනතුර සිදුකළ ත්රීරෝද රථයේ රියදුරාට නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇති අතර, අනෙකුත් ත්රීරෝද රථ රියදුරන්ට පොලිසිය මගින් ඇප ලබා දුන් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් භාරට ගත් ත්රීරෝදරථ 10 නුවරඑලිය දිස්ත්රික් මෝටර් රථ පරික්ෂක ජානක බණ්ඩාර මහතාගේ පරික්ෂණයට යොමු කළ බවත්, එහිදි මෝටර් රථ පරික්ෂකවරයාගේ නිගමනය පරිදි අන්තරාදායක ලෙස අමතර කොටස් සවි කිරීම, අමතර විදුලි පහන් සවි කිරිම, විවිධ අයුරින් ස්ටිකර් ඇළවීම යන චෝදනා යටතේ එම ත්රීරෝද රථවල රියදුරන්ට එරෙහිව නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් පූඩළුඔය පොලීසිය වැඩි දුරටත් සදහන් කළේය.