මොළය මිය ගිය රෝගියකුගේ ඇස් හා වකුගඩු වෙනත් රෝගීන් සිව් දෙනෙකු සඳහා බද්ධ කිරීමට ලබා ගැනීම පෙරේදා (18) දින උඩුගම රෝහලේ දී සිදුකළ බැව් උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මේ අයුරින් මොළය මියගිය රෝගියකුගෙන් අවයව ලබා ගැනීම සිදුවූයේ උඩුගම රෝහල් ඉතිහාසයේ පළමු වතාවට බවද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.
මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා තම සිරුරේ අවයව ලබා දෙමින් දායකත්වය සපයනු ලැබුවේ 2/169, නයාදොළ, අලපලාදෙණියෙහි පදිංචිව සිටි එල්. ප්‍රේමවතී මහත්මියයි. ඇයගේ ඥාතීන් මීට කැමැත්ත පළ කර ඇත. මියගිය තැනැත්තියගේ අවයව භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු රෝගීන් තිදෙනකුට බද්ධ කිරීම සඳහා ජාතික අවයව මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවද රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පැවසිය.