Spread the love


නිමල් රාජපක්ෂ-

අද රාත්‍රියේ සිට තවත් යුරියා පොහොර තොග සියලුම දිස්ත්‍රික්ක වෙත යැවීමට ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම කටයුතු යොදා ඇතැයි එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි

මෙවර යල කන්නයේ දී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා රජය නිකුත් කර ඇති වවුචර් පත් සියයට 90කටත් වඩා මේ වනවිට නිකුත් කර අවසන් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පොහොර ලබා ගැනීමේ දී ගොවීන්ගේ පහසුව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් වවුචර්පත් නිකුත් කරන ලෙස ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය උපදෙස් ලබාදි ඇත.

මෙම වවුචර්පත් හෙක්ටයාර් 01ක් සඳහා රුපියල් 20,000 හා හෙක්ටයාර් දෙකක් සදහා රුපියල් 40,000ක් වශයෙන් වගා කරන බිම් ප්‍රමාණය අනුව ලබා දී ඇත.

ගොවි ජනතාවට මෙම වවුචර්පත් යොදා ගැනීම මගින් යුරියා පොහොර, බන්ඩි පොහොර හෝ කාබනික පොහොර එහි වටිනාකම අනුව එක්වර ලබා ගත හැකි පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පැකේජයක් වශයෙන් ද සකස් කර තිබේ.

එපමණක් නොව අදාල වවුචරයේ දැක්වෙන වටිනාකම අනුව ගොවීන්ට තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට වවුචරයේ වටිනාකම අනුව කොටස් කර වවුචර් දෙකක් හෝ තුනක් ද වශයෙන් ලබා ගත හැකිය.

නිදසුනක් ලෙස රුපියල් 20,000ක වවුචරයක් රුපියල් 10,000 බැගින් කොටස් දෙකකට ද, අවශ්‍ය නම් රුපියල් 10,000 බැගින් කොටසක් හා 5000 බැගින් කොටස් දෙකක් ද වශයෙන් වවුචර්පත් ලබාගත හැකිය.

එමගින් ගොවීන්ට එකම වවුචරයට එකම අවස්ථාවේ සියලුම පොහොර මිල දී ගැනීම සම්බන්ධව ගැටළුවක් ඇත්නම් එමගින් විසදුම් ලබා ගත හැකිය.

මෙම සියලු ක්‍රියාමාර්ග මගින් ගොවි ජනතාවට පහසුව සැළසීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.