රාජපක්ෂලා සොරකම් කර විදේශයන්හි සඟවා ඇති බව කියන ධනය ගැනවිත් 2025 වසරේ අයවැය හිඟය පියවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.
“රාජපක්ෂ පාලනය ලංකාවේ මුදල් පිටරට ගෙනහිල්ලා හංගලා තිබෙනවා කියලා බලයට පැමිණි අනුර කුමාර දිසානායක මැතිතුමා, ඩොනල්ඩ් ලූ සහාකාර රාජ්‍ය ලේකම්වරයා ඒ පිළිබඳව ප්‍රකාශ කළාම ප්‍රීති ප්‍රමෝදයට පත්වෙනවා මිසක් ඒ සම්බන්ධයෙන් අපහසුතාවයට පත්වෙන්න ඕනේ නැහැ. නමුත් අපි දැක්කේ එය නොවේ.
අනුර කුමාර දිසානායක මැතිතුමනි දැන් තිබෙන්නේ ඇමරිකාවෙන් සම්පූර්ණ සහයෝගය ලබා ගෙන වහාම ඊළඟ අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න පෙර මේ මුදල් හොයාගෙන ඒ මුදල් ලංකාවට ගෙන්න ගන්න.
මේ ලංකාවේ මහජනතාවගේ මුදල් කවුරු හරි කෙනෙක් පිටරට ගෙනහිල්ලා තිබෙනවා නම් ඒ කවුද කියලා මේ රටේ ජනතාවට හෙළි කරන්න.
ඒ මුදල් ලංකාවට ගෙනවිත් මේ අයවැය හිඟය පියවලා මේ රට සුඛිත මුදිත කරන්න අවශ්‍ය පියවර අතිගරු ජනාධිපතිතුමා ගන්න කියන ඉල්ලීම කරන්න කැමතියි”
