Spread the love

නිමල් රාජපක්ෂ-

ආණ්ඩුව විදියට මේ රටේ සංවර්ධනය මෙන් ම නීතිය හා විධානය සැමට එක ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව කටයුතු කිරීමට අමතරව වැඩ කරන ජනතාව රැකබලා ගැනීමට ද මැදිහත් වෙනවා. හොඳ සේවයක් කරන අවංක නිලධාරීන් අගයනවා. අපි, ඔබලා බලාගත්තොත් තමයි ඔබලා විසින් ජනතාව බලාගන්නේ.’

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා මෙම අදහස් පළකලේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ පුහුණු වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙම වැඩමුළුව කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (26) දින පැවැත්විණ.

වායු දූෂණය දිනෙන් දිනම ඉහළ යාම බරපතල සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අවස්ථාවක රට තුල, පරිසර පද්ධතිය තුල යහපත් වායු තත්ත්වයන් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය චර්යාමය වෙනස්කම් ඇතිකරලීම වෙනුවෙන් නිලධාරීන් දැනුම්වත් කිරීම මෙම වැඩමුලුවේ අරමුණයි.

‘යහපත් දිවියකට පිවිතුරු හුස්මක්’ සැමට ලබාගැනීමත්, කායික, මානසික, සමාජයීය යහපැවැත්ම උදෙසා ලෝක තිරසර ප්‍රවාහන දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා පොලීසියත් ඒකාබද්ධව සිදුකරන මෙම කාර්යභාරය අගය කරනවා. 8,283 ක් වන රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් ඇගයීම, ඔවුන්ගෙන් ඉහළ සේවා දායකත්වයක් ලබාගැනීමට දිරිදීමක් වෙනවා. මාර්ගවල පවත්නා වාහන තදබදය පිළිබඳ ඇත්ත තත්ත්වය දන්නේ රථවාහන පොලිස් නිලධාරීන්. ප්‍රවාහනයේදී සිදුවන වැරදි, අඩුපාඩු අවම කරගන්න ඔවුන් විශාල කැපකිරීමක් කරනවා. පොලිස් නිලධාරීන් රථවාහන රාජකාරිය පමණක් නොව අපරාධ මර්ධනය වෙනුවෙන්, ප්‍රජා සේවාවන් වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදු කරනවා.

කොතරම් මාර්ග හැදුවත්, හොඳ වාහන තිබුනත්, නීතිය ක්‍රියාත්මක කලත් 53% ක් අනතුරු වෙන්නේ රියදුරන්ගේ දුර්වලතා හේතුවෙන්. රියදුරන් වෘත්තීය මට්ටමට ගෙන ඒම අවශ්‍යයි. වසරකට ජීවිත 2,500 ක් රිය අනතුරුවලින් අපේ රටට අහිමි වෙනවා. මේ තත්ත්වය අඩුකර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා නීති රීති, දඩගැසීම් පමණක් නොව සුරක්‍ෂිත රිය ධාවනය වෙනුවෙන් වෘත්තීයමයභාවයට පරිවර්තනය වීමත් අවශ්‍යයි.

ලංකාවේ සියලුම පළාත්වල එළැඹෙන දෙසැම්පර් 17 වන දින සිට ඔන්ලයින් දඩ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ලබන වසර මැද වනවිට ඩිජිටල් මැෂින් ලබාදී දඩ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා. වැරදි කරන රියදුරන්ගේ රියදුරු ලකුණු කැපීමේ ක්‍රමවේදය සඳහා තාක්‍ෂණික වශයෙන් යන කාලය අනුව කටයුතු කරනවා. රියදුරන් සිදුකරන වැරදිවලට දඬුවමින් කොටසක් බස් අයිතිකරුවන්ටත් යායුතු වෙනවා. සීට් බෙල්ට් නොපළදින රියදුරන්ට විතරක් නෙවෙයි මගීන්ටත් නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. හැම බස් රථයක්ම මාසයකට වරක් ධාවනයට සුදුසුද නැද්ද යන්න පරීක්‍ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. නීතිවලින් පමණක් මේ තත්ත්වය සාර්ථක කරගන්න බෑ. සෑම ක්‍ෂේත්‍රයක්ම සම්බන්ධ කරගෙන නියාමන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි.

ජීවිත හා දේපළ ආරක්‍ෂා කෙරෙන, සුරක්‍ෂිත මාර්ග ආරක්‍ෂණ ජාතික වැඩපිළිවෙලට සියලු සහය රජය ලබාදෙනවා. මාර්ග ආරක්‍ෂණ ජාතික වැඩසටහනට ගරු ජනාධිපතිතුමා විසින් අරමුදල් ලබාදී තිබෙනවා. ප්‍රායෝගිකව වැඩ කරන්න අවශ්‍ය සහය ලබාදෙනවා. තිරසරභාවය වෙනුවෙන් කාන්තාවන්ට, දරුවන්ට සිදුවන හිරිහැර නතර කිරීම අනිවාර්යයෙන් කළයුතු වෙනවා. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වීමට අමතරව මගී සංගම් ප්‍රමාණයක් ස්ථාපිත කර එහි සාමාජිකයන්ගේ සහය ලබාගැනීමට කටයුතු කරනවා. ඉදිරියේදී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගෙන මාර්ග සමිති ඇතිකර, මේ වැඩපිළිවෙල සාර්ථක කරනවා. ලබන වසර තුලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහය ඇතිව මාර්ග ආරක්‍ෂාවට කැපවෙන, ඇත්තට වැඩකරන සැබෑ විරුවන් ඇගයීමට ජනාධිපති ඇගයීම් වැඩසටහනක් සංවිධානය කරනවා.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ කමල් අමරසිංහ, වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු දසුන් ජනක ගමගේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේඥ වෛද්‍ය ඉනෝකා සුරවීර යන මහත්ම මහත්මීහු ඇතුලු නිලධාරීහු සහ පොලිස් රථවාහන කොට්ඨාසයේ නිලධාරීහු එක්ව සිටියහ