රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි 74 කට අධික මුදලක් පුද්ගලයින්ගෙන් වංචා කළැයි කියන සිද්ධියකට අදාලව මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක අධ්‍යක්ෂවරයකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහඊයේ (31) නියෝග කළා.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගැනීමට සිටින අනෙක් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ අනුව මෙම සැකකරුගේ බිරිය ද අදාල සමාගමේ අධ්‍යක්ෂවරියක වන බැවින් ඇය ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක අධ්‍යක්ෂවරයකු වන හේවාවිදුරගේ දිනේෂ් විමලචන්ද්‍ර නමැත්තායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණා.
මීට අදාලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 117ක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 469ක් ලැබී ඇතැයි පැමිණිල්ල අධිකරණයට වාර්තා කර තිබෙනවා.
මෙහි පැමිණිලිකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින අයවලුන් බවට කරුණු හෙළිව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරුවන් පැමිණිලිකරුවකුගෙන් රුපියල් දහ අට ලක්ෂ පනස් දහසක මුදලක් විදෙස් ගතකරවීමට අවශ්‍ය බවට කියමින් එම මුදල් කොටස් වශයෙන් ලබා ගෙන ඇති බවට කරුණු හෙළිව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
ඇතැම් පැමිණිලිකරුවන් මෙම සැකකරුට සම්පූර්ණ මුදල ද ගෙවා තිබූ බව ද හෙළිවුණා.
මෙම සිද්ධියට අදාල එම විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයද විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවලංගු කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකණයට දැනුම් දුන්නා.
මෙම සැකකරුවන් සාපරාධී සාවද්‍ය පරිහරණය, වංචා කිරීම විශ්වාසය කඩ කිරීම අතුළු චෝදනා මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ද වැරදි සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව, මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශණ ඒකක 01 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දංගල්ල, උපපොලිස් පරීක්ෂකවරුන් වන ලසිත පෙරේරා සහ චානක බණ්ඩාර යන නිලධාරින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
