Spread the love

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් මේ දිනවල රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානය යොමු කෙරුණා. මෙහිදී පළමුව අවධාරණය කළ යුතුව ඇත්තේ මිනිස් ජවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණුවන බවයි.