Spread the love

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාතික මහෝත්සවය වන ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල වසර තුනකට පසු. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය යළි ආරම්භ කෙරිණ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එය සංවිධානය කරයි.

පසුගිය සමයේ රට තුළ ඇති වු කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ වසර දෙකක් මෙම සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි විය.
2020 සහ 2021 වර්ෂවලට අදාළව සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, ගොඩනැගිලි ව්‍යාපෘති, විද්‍යුත් හා යාන්ත්‍රික ඉදිකිරීම්, හරිත ඉදිකිරීම් සහ ප්‍රාදේශීය ව්‍යාපෘති යන අංශ ඔස්සේ සම්මාන 65 ක් මෙහිදී ලබා දීම සිදු කෙරුණි.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය නියාමනය කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතාවයන් හදුනා ගැනීමත්, එම විශිෂ්ටතාවයන් ලබා ගැනීමට භාවිතා කළ ක්‍රියාවලින් ඇගයිමත්, ශ්‍රි ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීයභාවය හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කිරීමත් මෙම ජාතික සම්මාන උළෙලේ මුලික අරමුණ වේ.
ඉදිකිරීම් කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ඇති දෙවැනි විශාලතම කර්මාන්තයයි. අභ්‍යන්තර වශයෙන් එය රටෙහි ආර්ථිකයට එසේත් නැති නම් දළ දේශීය නිෂ්පාදිතයට 8% කට ආසන්න ප්‍රමාණයකින් මේ වන විට දායකත්වය ලබා දෙයි.
2014 අංක 33 දරණ ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන පනත මඟින් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක කරා ලගා විමටත්, එය වඩාත් ක්‍රමවත්ව නියාමනය කිරීමටත් අවශ්‍ය පසුබිම සකසා දී තිබේ. ගෝලීය ප්‍රමිතින්ට අනුකූලව විශ්වාසනීය සහ නිපුණ ඉදිකිරීම් කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීම වෙනුවෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය විසදෙමින් පවතින මොහොතක මෙරට ඉදිකිරීම් කර්මාන්තය ආරක්ෂා කරමින් එම කර්මාන්තකරුවන් විදේශීය ව්‍යාපාරවලට යොමු කරවීමද යුගයේ අවශ්‍යතාවයක් බවට හඳුනා ගෙන තිබේ. රජය ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග සකස් කරමින් පවතී. ඉදිකිරීම් කර්මාන්තය සංවර්ධනය කිරීම තුළින් වඩාත් සුභාවාදී වෙනසක් මෙන්ම රටේ වේගවත් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටද මාවත විවර වේ.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු හා තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එච්. රුවිනිස්, එහි අධ්‍යක්ෂ ජනරාල් එස්. අමරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.