Spread the love

කඩාවැටුණු රට ගොඩනැගීමේ වගකීම මමත්, ඇමති මණ්ඩලයත් භාරගත්තා. ඒ වගේම ආර්ථිකය ගොඩැනගීමේ වගකීම අපි භාරගත්තා.

අප නැවත යාචක ජාතියක් නොවිය යුතු බව අපි තීරණය කළා. අපි අපේ ශක්තියෙන් ඉදිරියට යා යුතුයි. පසුගිය සදුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේ දී අපට කණගාටුවෙන් වුවත් මෙම තීරණය ගැනීමට සිදු වුණා. ඇතැම් අය දොස් කියනවා. නමුත් අපි මෙය නොකළානම් මේ රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වෙනවා. මේ වසර ආරම්භයේ දී අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 07යි. අද වන විට ධන සියයට දශම 05ක් බවට පත් වී තිබෙනවා. ලබන වසරේ එය තව ටිකක් ඉදිරියට යනවා. එසේ නම් නැවත අපි ආපස්සට යනවාද, ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි.

නායකත්වය කියන්නේ එයයි. අසීරු තීරණ ගෙන ජනතාවට එහි සත්‍ය තත්ත්වය පහදා දිය යුතුයි. මෙම තීරණය නිසා අපට යම් මුදලක් උපයා ගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහන ලබාදීමට බැංකුවලට ලබාදිය හැකියි. එය සිදු නොකළා නම් එම කර්මාන්ත කඩා වැටෙනවා. කර්මාන්තකරුවන් ලෙස ඔබත් අසීරු තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා රට වෙනුවෙන් මේ අසීරු තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදු වෙනවා. නමුත් රට පිළිබඳ සිතා අප එම තීරණ ගත යුතුයි.

කෙසේ හෝ රට ගොඩනැගීමේ තීරණය සමඟ අපි එම ගමන යමු. මෙම වැඩපිළිවෙළ මගින් සිඟමන් යදින රටක් වෙනුවට හොඳ රටක් ගොඩනඟන්න පුළුවන්. මේ රටට යහපත් අනාගතයක් තිබෙන බව මම විශ්වාස කරනවා. අප ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරනවා. අද අසීරු වුවත් අපට තව වසර දෙක තුනකින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

2024 වන විට රටේ ආර්ථිකය මීටත් වඩා ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම අපේ අපේක්ෂාව බව සඳහන් කරමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රධාන කර්මාන්ත ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.